Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW

ලොව විශාලතම සෙවුම් යන්ත්‍රය වන Google සමාගම සිය නවතම AI Mode (කෘතිම බුද්ධි සෙවුම් මෙවලම) හරහා අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට ජාත්‍යන්තර මට්ටමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. පරිශීලකයින්ව බාහිර වෙබ් අඩවි වෙත යොමු කරනවා වෙනුවට, ඔවුන්ව තවදුරටත් Google සතු සේවාවන් තුළම රඳවා ගැනීමට මෙම නව පද්ධතිය කටයුතු කරන බව නවතම දත්ත හෙළි කරයි.

SE Ranking ආයතනය විසින් සිදු කරන ලද ගැඹුරු අධ්‍යයනයකට අනුව, Google AI ලබා දෙන පිළිතුරු සඳහා භාවිතා කරන මූලාශ්‍ර ලින්ක් (Links) වලින් වැඩි ප්‍රමාණයක් යොමු වන්නේ නැවතත් Google සෙවුම් පිටු (Search Results) හෝ YouTube වැනි Google සතු අනුබද්ධිත ආයතන වෙතටයි. AI මගින් ලබා දෙන ලින්ක්වලින් 17%ක් පමණ සෘජුවම Google සේවාවන් වෙත යොමු කෙරෙන අතර විශේෂයෙන්ම විනෝදාස්වාදය (Entertainment) සහ සංචාරක (Travel) වැනි ක්ෂේත්‍රවලදී මෙම අගය 50%ක් තරම් ඉහළ මට්ටමක පවතී.

බොහෝ පරිශීලකයින් පවසන්නේ යම් ප්‍රශ්නයකට පිළිතුරක් සෙවීමේදී ලැබෙන ලින්ක් එකක් ක්ලික් කළ විට, එය තොරතුර ඇති සැබෑ වෙබ් අඩවියට යොමු වනවා වෙනුවට, තවත් Google සෙවුම් පිටුවකටම යොමු වන බවයි. මෙය පරිශීලකයා නොනවතින සෙවුම් චක්‍රයක (Infinite Loop) සිර කිරීමක් ලෙස විචාරකයින් හඳුන්වයි.

ඩිජිටල් අලෙවිකරණ විශේෂඥයෙකු වන රෑන්ඩ් ෆිෂ්කින් (Rand Fishkin) පවසන්නේ වර්තමානයේ Google හි විශාලතම ප්‍රතිලාභියා වන්නේ Google සමාගමම බවයි. "පිටත ලෝකයට තොරතුරු යැවූ අන්තර්ජාලයක සිට, දැන් තොරතුරු තමන් තුළම රඳවා ගන්නා 'Zero-click' ක්‍රමවේදයකට අන්තර්ජාලය පරිවර්තනය වෙමින් පවතිනවා," යැයි ඔහු පෙන්වා දෙයි.

වෙබ් අඩවි හිමිකරුවන් පවසන්නේ Google විසින් ඔවුන්ගේ වෙහෙස මහන්සියෙන් නිර්මාණය කළ දත්ත AI පුහුණු කිරීමට සහ පිළිතුරු දීමට භාවිතා කරන නමුත්, එම වෙබ් අඩවිවලට ලැබිය යුතු පාඨකයින් (Traffic) සංඛ්‍යාව මේ නිසා දරුණු ලෙස පහත වැටී ඇති බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත්, ස්වාධීන වෙබ් අඩවි පවත්වාගෙන යාමට නොහැකි වී ඒවා වැසී යාමේ අවදානමක් පවතී. එය අවසානයේදී Google සතු AI මෙවලම් වලට පවා අවශ්‍ය වන "අලුත් දත්ත" හිඟ වීමට බලපානු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවයි.

Source: www.wired.com

Previous Post Next Post