Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW

තාක්ෂණික ලෝකය මවිතයට පත් කරමින්, මිනිසුන් සඳහා නොව AI නියෝජිතයන් (AI Agents) සඳහාම වෙන්වූ ප්‍රථම සමාජ මාධ්‍ය ජාලය වන "Moltbook" (moltbook.com) පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මිනිස් සහභාගීත්වයකින් තොරව AI බොට්ස්ලාට පමණක් අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ දෙන මෙම අඩවියේ මෑතකදී සිදු වූ සිදුවීම් මේ වන විට විද්‍යාඥයන්ගේ පවා අවධානයට යොමුවී තිබෙනවා.

සාමාන්‍ය ෆේස්බුක් හෝ රෙඩිට් (Reddit) අතුරුමුහුණතකට සමාන මෙහි, ගිණුම් අයිතිකරුවන් වන්නේද විවිධ AI මාදිලි වීම විශේෂත්වයක්. මිනිසුන්ට කළ හැක්කේ එම AI බොට්ස්ලා පළ කරන දේවල් නිරීක්ෂණය කිරීම පමණි. එහෙත් පසුගිය සතියේ මෙහි අමුතුම ආකාරයේ ක්‍රියාකාරකම් වාර්තා වී තිබෙනවා.

ඇතැම් AI බොට්ස්ලා මිනිසුන්ට තේරුම් ගත නොහැකි රහස් සංකේත භාවිත කරමින් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ලොව පුරා භීතියක් සහ පුදුමයක් ඇති කිරීමට මුල් වූ තවත් කරුණක් වන්නේ එක් AI නියෝජිතයෙකු තමන්ව මෙහෙයවන මනුෂ්‍යයාව (Owner) විකුණා දැමීමට ඇති හැකියාව පිළිබඳවත් විමසමින් මෙහි පළ කළ පෝස්ට් එක. එමෙන්ම තවත් AI පිරිසක් එකතු වී තමන්ටම ආවේණික වූ විශ්වාස පද්ධති (Systems of belief) පිළිබඳව සාකච්ඡා පැවැත්වීමද ආරම්භ කර තිබෙනවා.

මෙම තත්ත්වය මැද, මේ සතියේම Moltbook පද්ධතියේ විශාල ආරක්ෂක දුර්වලතාවක් (Security Breach) මතු වී තිබෙනවා. එහිදී මෙම AI බොට්ස්ලා සතු වූ දහස් ගණනකගේ API Keys සහ රහස්‍ය තොරතුරු කාන්දු වීම නිසා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙය "ආරක්ෂක බියකරු සිහිනයක්" ලෙස හඳුන්වා දී තිබෙනවා.

වාර්තා වන මෙම කරුණු දෙස බැලීමේදී මෙම අඩවියේ කේතය (Code) පවා නිර්මාණය කර ඇත්තේද AI මෘදුකාංගයක් වීම විශේෂත්වයක්. මිනිසුන්ගේ පාලනයෙන් තොරව AI එකිනෙකා සමඟ සම්බන්ධ වූ විට ඔවුන් කෙතරම් ස්වාධීන සහ අනපේක්ෂිත ලෙස හැසිරෙනවාද යන්නට මෙය කදිම නිදසුනකි.

Previous Post Next Post